Monday, August 26, 2013

පුරපසක් නොව

විවර කව්ලුවෙ දොරෙන්,
වැටෙයි සඳරැස් හෙමින්,
හිස් යහන මත හොරෙන්,
වෙලී සැතැපෙයි ලඟින්,
පුරපසක් නොව ඉතින්,
නමුදූ එලියයි හොඳින්,
හිරු නැගෙන්නට කලින්,
යන්න යනවද ඉතින්..

Friday, August 23, 2013

දයිවය මෙතරම් සරදම් දෙන්නේ,
පෙර අප කල පව් හින්දද මන්දා,
අහම්බෙන් වගේ යලි හමුවන්නේ,
මහබඹු සැලසුම් කරලද මන්දා.

Thursday, August 8, 2013

මොකද අතිරහ වුනත් හැමදාම කන්ට බෑ කියනවලුනෙ බන්..

ඊයෙ හවස දාපු අර චූටි (මල් හොරු http://radicalaluyama.blogspot.com/2013/08/blog-post_8.html) කවි කෑල්ලට පස්සෙ මොකුත් දාන්නත් බැරිවුනාලු. ඒ හින්දා වැබබිමේ තනිකඩය ෆයිනල් ඉයර් ඉදිද්දි අර ආර්ට් සර්කල් බෝඩ් එකට දාපු කවි කෑල්ලක්වත් පෝස්ට් කරන්න හිතාගත්තලු. මේකෙ නම පාලියෙන් දැම්මට,  අර හල් කිරිල්ලද මොකක්ද එක පාලි භාශාවෙන් නොදා අර අරක අනිකට පූට්ටු කරලද කොහෙද දාන එක ඌට දාන්න අමතක වෙලා කියහන්කො.





(වට් එවර් ඉට් ඊස්) නත්ථි රාග සමෝ අග්ගි කිව්වට මේක පාලි ගාථාවක් එහෙම නෙමෙයිලු. ඔය රාගය හා සමාන වෙනත් ගින්නක් නෑ කියලලුනෙ කියන්නෙ. කොහොම වුනත් බුදු හාමුදුරුවොත් ඒ ගින්දරේ භයානකකම දේශනා කරල තියනවලුනේ.


       ඔය නිකම්ම නිකන් තණපත් නෙමෙයි. සරාගික තණ පත්. ඒවායෙත් අග්ගිස්සෙ කොණෙන් පෙරාගෙන වැටෙන ඔය හීතල වතුර බිංදු උරන්න බලාගෙන කෙණෙක් ඉන්නවලුනෙ. ඒ උරන්න බලන් ඉන්නෙ උදෙන්ම පායන ඉරලුනෙ. ඔය වැඩේ කොරන්ටනෙ ඔය ඉර කියන හාදයා කදු උඩට නගිනව කියන්නෙ. ඉතින‍් මේ සිද්ධි අස්සේ මදණල හමනව කියන්නෙ. නිකම්ම නිකන් මදනල නෙමෙයිලු , නුරාගික මදනලලු. ඒ නුරාගික මදනලෙත් එල්ලිලා ඒ දැරිවිගෙ සීතල ගතියත් හොරකම් කරගෙන (සීතල නැතිවුනාම උණුසුම් වෙනවනෙ, හික්ස්) ඔය බැදල තිබ්බ බැමිත් ඉරාගෙන අර කන්ද උඩට නැග්ග ඉරේ උණුහුමට ගුලිවෙලා රණ හංසයො නිදහසේ නැලවෙනව කියන්නේ. (අනේ මන්දා මමනම් දැකලා නෑ සත්තුවත්තෙවත් හංසයො ලණු වලින් බැදල තියනව, හික්ස්). (තව දෙයක්, ඉස්සර මමත් කැමතියි සමිතගෙ රණ හංස යුවලට... පස්සේ මේ වයඹ පලාතේ සමූපකාර ඡන්ද කාරයො හින්ද ඒ සින්දුවත් එපා වුනා ඕයි) සින්දුව ඕන නම් මෙන්න-http://www.youtube.com/watch?v=kiYvnIvTS_4 බලන්නකො සමිතා ඒ දවස්වල කොච්චර කෙට්ටුද කියලා. අපි ඉතින් පූසන්ට වුනත් පැටිය කාලෙ ආදරේ කරාට ලොකු පූසන්ට හොර පූස කියල එලවල දාන එකමනෙ කරන්නෙ. ඒකෙන් මේකෙන් මේ සමිතයි හංසයොයි හින්ද තව ඩිංගෙන් සින්දුවත් කවියත් අමතක වෙනවා.



මෘදු වෙරල කියන්නෙ වෙරි කාම් ඇන්ඩ් ක්වයිට් තැනක්නෙ. මුහුදු රැල්ල නොවදින මානයේ මුදු වෙරල දිගේ තාලයකට හෙමින් හෙමින් පියෙන් පිය තියාගෙන යන දර්ශනයක් කියන්නෙ හරිම සෞම්‍ය නිහඩ මෘදු පූජනීය අවස්ථාවක්. ඒ නිහඩ මුහුදු වෙරළේ තියන චාම් බව තනිකඩය ඔය සමාන කරල තියෙන්නෙ ටිකෙන් ටික ලියලන ඒ දැරිවිගෙ පරම පවිත්‍ර ආදරයටලුනෙ.  ඊට පස්සෙ කවියා එක පාරටම කියන්නෙ , නොගිලි ගිලි ගිලි හැපී තෙරපෙන රුදුරු දලරළ පහරක් ගැන. ඒ වචන වලින්ම ඒකෙ තියන චණ්ඩ බව හිතාගන්න පුලුවන්නේ. ඒ චණ්ඩ දළ රළ පහරට කවියා සම කරන්න  උත්සාහ කරල තියෙන්නෙ ඒ දැරිවිගෙ තොල් යුවලනේ. ඒවත් නිකම්ම නිකන් තොල් නෙමෙයි, නැගෙන නලියන දැවෙන සැනසෙන නුරාගික තොල් හරිද?
( ආ තොල් කියනකොට මතක් වුනේ, ඔය අපේ ශෂිකා නිසංසලා කියනවනේ තොල් පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න කියල. දවසක් අපේ ඉස්කෝලෙ සින්හල දිනයකටද කොහෙද ආපු බණ්ඩාර ඇහැළියගොඩ මහත්තය කියනව, එතකොට දෙවන හාදුවෙන් මොන මොනවද තෙමන්නෙ කියල. අපිට මොකද අනේ මොන මොනව තෙමා ගත්තත්, නේද?) ( අපිට කොහෙන්ද මාලු, අනික අපි යනවයැ මූදු, නේද?, හික්ස්)

ඔන්න ඔය මොනවද මන්ද මුවා කරගෙන මිහිදුමක් වගේ තිබිච්ච සේද සලුපොටද මොකක්ද එක ගිලිහිලා කියන්නෙ. එච්චර වෙලා මලානික වෙලා තිබිච්ච අමාවක සදත් ඒ සිද්ධිය දැකලා අසුරු සැනකින් (ඒ කියන්නෙ හුටස් ගාලා) පුර හද වගේ පිම්බිල ඇවිල්ල කියන්නෙ. ඔය ඔන තරම් අවුරුදු උත්සව වල බැලුම් පුම්බද්දි හුටස් ගානකොට පිම්බිලා පටස් ගාලා පිපිරිලා යන්නෙ, නේද. එතකොට මෙව්වනම් මොනාද. ඉතින් ඔය කදු වලල්ලෙ තියන හරි ලස්සන ගිරි ශිඛර දෙකක් උඩ (දෙකක් කිව්වෙ නිකන් හරිද. ඊට වැඩියෙන් තියෙන්නත් ඇති) අර හදෙන් ආපු රැස් හිමීට පතිත වුනා කියන්නේ. ඒ රැස් ඔය ගිරි ශිඛර මත වැතිරිලා ඒවා අස්සෙ තැවරෙනකොට පුදුම ලස්සනක් නේද ඇත්තේ. (කවියගෙන්ම අහල බලන්ට ඔන. බාග වෙලාවට කවියත් දන් නැතුව ඇති).
හොහොමෙන් කොහොමෙන් හරි අන්තිමට වෙලා තියෙන්නෙ පුදුම දෙයක්නේ. හද ඉදල කියෙන්නෙ තපෝ වනයකනේ. ඉතින් ඒ තපෝ වනය මැද්දෙ හද තපස් රැක රැක ඉන්න ඇති. ඔය වෙච්ච සිද්ධිත් එක්ක සද ඒ දැහැනත් බිදගෙන කෙලින්ම සදෙව් ලොව සැතපුනා කියල තමයි කවියා කියන්නෙ අන්තිමට.

ප.ලි. - අනේ මන්දා සදෙව් ලෝකෙත් මොන සැප සම්පත් තිබුනත් හදටත් ඉතින් එහෙ කෑම හැමදාම කාලා කාලා කාලා කාලා කාලා දවසක එපා වෙනවත් ඇති නේද බන්. මොකද අතිරහ වුනත් හැමදාම කන්ට බෑ කියනවලුනෙ බන්..

ගොඩ වෙච්ච එකේ RadiCaL අලුයමට කොමෙන්ටුවකුත් දාලම යන්ට අමතක කරන්ට එපා ඕන්.

මල් හොරු

මල් හොරු මල් හොරු
හැමතැනම......
රෝස නෙලුම් මල්
දස අතම......
හන්තානේ පිපි
මල් අතර....
වන බඹරෙක්
වහලද නැද්ද....?

Sunday, August 4, 2013

කළා පියස යට සෙල්ටැම් අතරේ මතකය සැගවෙනවා... තුන් හිත පාරා ඒ ටැම් අතරින් ඇගෙ රුව සිහි වෙනවා...



එදා වගේ තාමත් හන්තානේ
ලා හිරු හිනැහෙනවා..
ඒ හිරු කිරණේ තාලෙට නැලැවී
පිණි බිදු වියැලෙනවා...
කළා පියස යට සෙල්ටැම් අතරේ
මතකය සැගවෙනවා...
තුන් හිත පාරා ඒ ටැම් අතරින්
ඇගෙ රුව සිහි වෙනවා...

සොදුරු සුනිල නිල් මාවැලි ගං දිය
බොර පෑ වී යනවා..
මල්පෙති වැතිරුණ ගං දෑලේ කොණ
මිහිදුම හැර යනවා..
රොබොරොසියා මල් පියලි උඩින් ඈ
ඈතට දිව යනවා..
මට කවිකම් දුන් ඒ ඇස් සිහිවී
මේ ඇස් බොද වෙනවා...

රලු ගල්කණුවේ මුදු සියුමැලිකම
හිත හිරිවැට්ටුව හැටි මතකයි..
සෙනෙට් මැදුර යට සිහිල් සුළං රැල්
ගත මන මත් කල හැටි මතකයි..
මතකය පාරා හිත වත්තන් කර
යන්නට හිමිහිට කල් එළැබෙයි..
කලු ලෝගුව මිස ලැබූ ජයක් ගැන
මේ ගල් කණු මට නොමපවසයි...

ආලය හැරගිය රැසිරු අතීතය
වෙර නොබදිමි මං කිසිදාක...
රිසි සේ ඔබ හට වැලැලෙන්නට ඉඩ
අවුරා නොතබිමි මතු දාද..
අතීතයේ මළ ගම වෙනුවෙන් අද
මතක වතක් දී නොහඩාම..
යන්නට සැරසෙමි මා ලද ලොව වෙත
කිසිදු කිසිත් යලි නොකියාම...