Sunday, August 4, 2013

කළා පියස යට සෙල්ටැම් අතරේ මතකය සැගවෙනවා... තුන් හිත පාරා ඒ ටැම් අතරින් ඇගෙ රුව සිහි වෙනවා...



එදා වගේ තාමත් හන්තානේ
ලා හිරු හිනැහෙනවා..
ඒ හිරු කිරණේ තාලෙට නැලැවී
පිණි බිදු වියැලෙනවා...
කළා පියස යට සෙල්ටැම් අතරේ
මතකය සැගවෙනවා...
තුන් හිත පාරා ඒ ටැම් අතරින්
ඇගෙ රුව සිහි වෙනවා...

සොදුරු සුනිල නිල් මාවැලි ගං දිය
බොර පෑ වී යනවා..
මල්පෙති වැතිරුණ ගං දෑලේ කොණ
මිහිදුම හැර යනවා..
රොබොරොසියා මල් පියලි උඩින් ඈ
ඈතට දිව යනවා..
මට කවිකම් දුන් ඒ ඇස් සිහිවී
මේ ඇස් බොද වෙනවා...

රලු ගල්කණුවේ මුදු සියුමැලිකම
හිත හිරිවැට්ටුව හැටි මතකයි..
සෙනෙට් මැදුර යට සිහිල් සුළං රැල්
ගත මන මත් කල හැටි මතකයි..
මතකය පාරා හිත වත්තන් කර
යන්නට හිමිහිට කල් එළැබෙයි..
කලු ලෝගුව මිස ලැබූ ජයක් ගැන
මේ ගල් කණු මට නොමපවසයි...

ආලය හැරගිය රැසිරු අතීතය
වෙර නොබදිමි මං කිසිදාක...
රිසි සේ ඔබ හට වැලැලෙන්නට ඉඩ
අවුරා නොතබිමි මතු දාද..
අතීතයේ මළ ගම වෙනුවෙන් අද
මතක වතක් දී නොහඩාම..
යන්නට සැරසෙමි මා ලද ලොව වෙත
කිසිදු කිසිත් යලි නොකියාම...

3 comments:

Anonymous said...

පට්ට කවි පොකුර.... පේරා ද??
යුක්ති
අ.පේලිය

Isuru S. Amarasena said...

ස්තූතියි මචං..
කවි පොතකට කවි ලියැවෙන්න, පේරා තරම් අන් සුරපුරක් සිරිලක කොහිද?

Unknown said...

අතීතය සිහිනයාක් පමණයි, සැබෑ සුවදක් නෑ...
එදා සෙනෙහෙන් නොබැදුනානම් මෙදා වියොවක් නෑ...